ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

June 27, 2025   02:06 pm

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 2ක් භාවිත කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරනු ලබයි.

පළමු පියවර ලෙස මෙම අයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම්දී එම සුළු මුදල සඳහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ මුදලට එකතු කර ලබාදීම සිදු කරනු ලබයි.

මෙවැනි පියවරයන් කිහිපයකදී ආයෝජකයාට ප්‍රතිලාභ ප්‍රමාණ වැඩිකරමින් ලබාදෙයි.

එහිදී මෙම පුද්ලයන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කරමින් විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට උපදෙස් ලබාදෙයි.

මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකුවල ඇති ගිණුම්වලට ය.

ඒ අනුව වැඩි මුදල් ප්‍රමාණයන් අවස්ථාවන් කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කළද ඒ සඳහා ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදීම සිදුකරයි.

මෙම ආයෝජකයන් ප්‍රතිලාභයන් ලබානොදීම සම්බන්ධයෙන් අපරාධකරුවන්ගෙන් අදාළ සමාජ ජාලා ඔස්සේ වීමසීමේදී එම අපරාධකරුවන් දන්වා සිටින්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාස්තු වැනි ගාස්තු ගෙවිය යුතු බවත් ඒ සඳහා ද අමතර මුදල් යෙදවුවහොත් ප්‍රතිලාභය ලබාදිය හැකි බවය. 

ඒ අනුව තව තවත් මුදල් ප්‍රමාණ ආයෝජනය කරන ලෙසට දැනුම්දෙනු ලබයි.

දෙවැනි ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම්වලට බැර වන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත් ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලබයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ ඉහත විස්තර කරන ලද පළමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිත කරමින් වෙනත් ගිණුම්වලට සංසරණය සිදු කරන බවට විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

වැඩි විස්තර පහතින්,

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට by poornima on Scribd