අනුරාධපුර රෝහලේ මල මූත්‍රා මල්වතු ඔයට ගලයි

අනුරාධපුර රෝහලේ මල මූත්‍රා මල්වතු ඔයට ගලයි

June 27, 2025   12:17 pm

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසින් පවසයි.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය. 

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්දයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.