විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කෙරේ

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කෙරේ

June 18, 2025   12:37 pm


රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වා ඇති අතර, අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදුකරන කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කරනු ලැබ තිබිණි. 

විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙහිදී  වැඩි අවධානයක් යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

දේශීය සහ විදේශීය පරිශීලකයින්ට තොරතුරු සහ සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කරමින් පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද මෙහිදී අනාවරණය කෙරිණි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සහ වෙනත් නිල ලේඛන ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා පරිපාටි සරල කිරීම පිළිබඳවද මෙහිදී සලකා බැලුණි.

මෙම ප්‍රතිසංස්කරණ මඟින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමත්, පරිශීලකයන්ගේ පහසුව සැලකිය යුතු මට්ටමකින් වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසාද් පියසේන, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිර්මල පරණවිතාන, මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැ.බ. අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යතර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරු  ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.