ඉරානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සම්බන්ධ වී නොමැති බව ට්‍රම්ප් කියයි

ඉරානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සම්බන්ධ වී නොමැති බව ට්‍රම්ප් කියයි

June 17, 2025   05:55 pm

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සම්බන්ධව ඉරානය සමග සාම සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් කිසි සේත් සම්බන්ධ වී නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව මෑත කාලින සාකච්ඡාවලදී තමන් ඉදිරිපත් කළ ගිවිසුමකට ඉරානය අත්සන් කළ යුතුව තිබූ බවය.

එමෙන්ම ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සඳහා තමන් සටන් විරාමයක් සොයන්නේ නැති බවත් සටන් විරාමටකට වඩා හොඳ අවසානයක් සොයන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. 

මේ අතර ඉරානයට ඇති බවට චෝදනා එල්ල වී ඇති න්‍යෂ්ටික අවි සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකිය යන්නය.

තමන් ටෙහෙරානයෙන් සියලු ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දුන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මිනිසුන් ආරක්ෂිතව සිටීම බවද අමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ටෙහෙරානයේ ජනතාව අගනුවරින් පිටත්ව යාම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි අගනුවරින් ජනතාව පිටත්ව යාම ආරම්භ වී ඇති බැවින් එරට මාර්ග රැසක මේ වන විටත් දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇතැයිද වාර්තා වී ඇති අතර ටෙහෙරානයේ ප්‍රධාන මාර්ගවල දැඩි රථ වාහන පෝලිම්ද නිර්මාණය වී තිබේ.

එමෙන්ම පවතින තත්ත්වය මත ටෙහෙරානයේ ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම්ද නිර්මානය වී ඇති බවද වාර්තා වේ.

මේ අතර ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් තවදුරටත් පවතින අතර ඉරානයේ රජයේ රූපවාහිනි නාලිකාවකටද ඊයේ (16) ඊශ්‍රායලය ප්‍රහාර දියත් කළ අතර ඉරානය අද (17) ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මූලස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වේ.

ඉරාන රජය විසින් මෙහෙයවනු ලබන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් මේ බව වාර්තා කර ඇති අතර ඉරාන විපලවවාදී ආරක්ෂක බලකාය උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ මොසාඩ් සංවිධානයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවය.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල රජයේ සීමාවන් හේතුවෙන් එරට ක්‍රියාත්මක වන මාධ්‍යවලට ඇතැම් සිදුවීම් වාර්තා කළ නොහැකි බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායලය අද උදෑසන වාර්තා කර ඇති පරිදි ඉරානය විසින් ඊශ්‍රායලයට අද දිනයේදී මිසයිල 30ක් එල්ල කර තිබේ.

එහිදී බොහොමයක් මිසයිල බිම හෙළීමට සමත් වූ නමුත් ඇතැම් මිසයිල ඊශ්‍රායලය වෙත පතිත වී ඇති බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත.

මේ අතර ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය සිය රටවල් තුළ ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති පිරිස් සම්බන්ධව අනාවරණයක් සිදුකර තිබේ.

ඒ අනුව ඊශ්‍රායලය තුළ ඉරාන ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 154 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ඉන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා කර ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 224 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 1,200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා කර ඇත.