මතභේදාත්මකව ජනාධිපති සමාව ලැබුණු අතුල අධිකරණයට එයි

මතභේදාත්මකව ජනාධිපති සමාව ලැබුණු අතුල අධිකරණයට එයි

June 11, 2025   08:00 pm

ඩබ්.එම් අතුල තිලකරත්න නමැත්තාට පසුගිය වෙසක් පොහෝදින අනීතිකව ජනාධිපති සමාව ලබාදී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න ලබන 13 දක්වා අද (11) යළි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

ඒ අදාළ නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එම අවස්ථාවට මතභේදයට තුඩුදී ඇති ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ද අධිකරණයට පැමිණ සිට තිබේ.

ඒ ඔහුට පැවැති වෙනත් නඩුවක් අවසන්වීමෙන් පසුව බව අපවාර්තාකරු පැවසුවේය.

සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා විවෘත අධිකරණයේදී පැවසුවේ, තම සේවාදායකයා විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යානූකූලව බවය.

එය වඩාත් තහවුරු වන්නේ ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මෙම අවස්ථාවේ මෙම අධිකරණයේද පෙනී සිටින නිසා බව ද නීතීඥවරයා කියාසිටියේය. 

නීතිඥවරයා එලෙස පවසද්දි විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිටිමින් අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහෙස්ත්‍රාත්වරයාට දන්වා තිබේ.

විත්තිකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි මහතාද අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ තම සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති  එච්සී /69/2018 අංක දරණ නඩුවෙන් නිත්‍යානුකූලව නිදහස්ව සිටින නිසා බවය.

කෙසේ වෙතත්, පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. 

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පැවසුවේ වෙසක් පොහොය දා ජනාධිපති පොදු සමාව ලබාදුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු නාම ලේඛනයේ ඩබ්.එම් අතුල තිලකරත්නගේ නම ඇතුලත් නොවන බව පිළිගන්නා බවය. 

"ස්වාමිනී, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් නීතිමය ප්‍රතිපාදන මත තමයි මගේ සේවාදායකයා අතුල තිලකරත්න නිදහස් කිරීමට පියවර ගෙන තියෙන්නේ. මෙහිදී සිදුව ඇත්තේ, ජනාධිපති පොදු සමාව සහ ජනාධිපති විශේෂ පොදු සමාව පටලවා ගැනීමක් මෙන්ම චක්‍රලේඛය වැරදි සහගත ලෙස වටහා ගැනීමක්. එම කරුණු සැලකිල්ලට ගෙන තම සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්න."

කෙසේවෙතත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා ලබන 13ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.