මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම නතර කරයි

මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම නතර කරයි

June 11, 2025   05:36 pm

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

අද (11) උදෑසන සිට උඩරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

එම දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව නතර කළ අතර අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත.

මෙම තත්ත්වය උඩ පේරාදෙණිය සහ මහනුවර අතර මගී ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යෙදවීමටද පියවර ගෙන තිබුණි.

එමෙන්ම යළි දැනුම්දෙන තුරු මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීමේ කටයුතු නවතා දමා ඇති බව සඳහන්ය.