මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙක් මරුට
June 11, 2025 07:06 am
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයෙක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ.
ඊයේ (10) එම අනතුරු සිදුව තිබුණේ මාන්කුලම්, අඹන්පොළ සහ වරකාපොළ යන පොලිස් වසම්වලදීය.
මාන්කුලම් - මුලතිව් මාර්ගයේ ඔළු මඩු ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක කොන්ක්‍රීට් කණුවක ගැටී පැදිකරු පාලම යට ඇති වතුරවලට වැටී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, පරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි අයෙකි.
මේ අතර අඹන්පොළ පොලිස් වසමේ ගල්ගමුව මොරගොල්ලාගම මාර්ගයේ වලත්වැව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට පෙරළී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, ඇබෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර කොළඹ - මහනුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පදිංචිකරුවෙකි.