PSG ලැබූ ඉතිහාසගත ජයට ප්‍රංශයේ කළු පැල්ලමක්
June 1, 2025 04:53 pm
පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ ජය සැමරුමක් අතරතුර පැරිස් නුවර ඊයේ (31) ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ, මෙලෙස මියගොස් සිටින දෙදෙනා අවුරුදු 17 හා 23 වයස්වල පසුවන්නන් බවය.
එමෙන්ම තවත් පුද්ගලයින් 190කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ද ගෙන ඇත.
මෙම පිරිස් පාලනය කිරීම සඳහා 5,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් අනුයුක්ත කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් 9 දෙනෙකුද තුවාල ලබා ඇත.
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජර්මනියේ මියුනිච්හිදී ඊයේ පැවැත්විණි.
එහිදී ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායම ගෝල 5-0ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයක් ලැබීමට PSG කණ්ඩායම සමත් විය.
මෙය වසර 70කට වැඩි චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලි ඉතිහාසයේ PSG කණ්ඩායම ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
එම ඉතිහාසගත ජයග්‍රහණය සැමරීමට ප්‍රංශ ප්‍රේක්ෂකයින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන තිබේ.