මදුරු මර්දන වැඩසටහනෙන් පාසල් 18කට රතු නිවේදන

මදුරු මර්දන වැඩසටහනෙන් පාසල් 18කට රතු නිවේදන

May 30, 2025   03:59 pm

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය. 

මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ අතර එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් එය 51%ක ප්‍රතිශතයක් බව ද සඳහන් කළ වෛද්‍යවරිය, මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් එය 14.4%ක ප්‍රතිශතයක් බවත් පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.

විශාල ප්‍රජාවක් නියෝජනය කරන සහ ව්‍යාප්ත විය හැකි පරිශ්‍රයන් ලෙස පාසල් තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන වහාම පිරිසිදු කළ යුතු බවත් එහි අවධානම ඉහළ මට්ටමක පවතින බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

එම විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී දිවයින පුරා නිවාස 119,677, පාසල් 257, වෙනත් අධ්‍යාපන ආයතන 304, රජයේ ආයතන 789, පෞද්ගලික ආයතන 5025, ඉදිකිරීම් පරිශ්‍ර 700, කර්මාන්ත ශාලා 195, පොදු ස්ථාන 263, ආගමික සිද්ධස්ථාන 514, අනෙකුත් ස්ථාන 1100 ඇතුළත්ව පරීක්ෂා කළ මුළු පරිශ්‍රයන් ගණන 128,824 කි. 

මෙහි දී මඳුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ද, හඳුනා ගැනීමට හැකිවිය. මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3,916 සිදුකළ අතර පරිශ්‍ර 1470 කට ද, නිතී මඟින් ක්‍රියා කිරීමට ද පියවර ගත් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.