කමල් හසන්ගේ චිත්‍රපටවලට කර්ණාටකයේ තහනමක් ?

කමල් හසන්ගේ චිත්‍රපටවලට කර්ණාටකයේ තහනමක් ?

May 30, 2025   03:19 pm

දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන කමල් හසන් මෑතකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු රඟපෑ චිත්‍රපට කර්ණාටක ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එහි රජයට මේ වනවිට බලපෑම් එල්ලවී තිබේ.

"දෙමළ නිසා කණ්නඩ බිහිවුණා" යනුවෙන් කමල් හසන් පසුගියදා ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඔහු රංගනයෙන් දායකවන මෙන්ම ඔහු නිෂ්පාදනය කරනු ලැබූ නවතම චිත්‍රපය වන 'Thug Life' සිනමා පටය වෙනුවෙන් ඉකුත් මැයි 24වනදා චෙන්නායිහි පැවති ප්‍රචාරක වැඩසටහනකදී ඔහු මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදුකර ඇත.

මෙම ප්‍රකාශයට ප්‍රකෝප වූ කණ්නඩ හිතවාදී සංවිධාන කිහිපයක් බැංගලෝර්, බෙලගාවි, හුබ්බාලි සහ මයිසූර් වැනි නගරවල වීථිබැස කමල් හසන්ට සමාව ඉල්ලන ලෙස ඉල්ලා සිටියහ.

කමල් හසන් එම ප්‍රකාශයට සමාව නොගන්නේ නම්, ඔහුගේ චිත්‍රපට කර්ණාටකයේ තහනම් කරන්න යැයි එහි ප්‍රාන්ත අමාත්‍යවරයෙකු වන ශිවරාජ් තංගඩගි ද කණ්නඩ චිත්‍රපට ආයතනයට දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලය විසින් කමල් හසන්ට ඔහුගේ චිත්‍රපටය වන 'Thug Life' ප්‍රාන්තයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකිරීමට පෙර කණ්නඩ භාෂාව පිළිබඳ ඔහුගේ අදහස් හා සමාව ගැනීමට දින දෙකක කාලයක් ලබා දී ඇත.

ඉන් දිනක්ද මේ වනවිට ගතවී තිබේ.

මෙම නවතම චිත්‍රපටය එළැඹෙන ජුනි 5වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ නමුත් කමල් හසන් තවමත් ඔහු කළ ප්‍රකාශය නිවැරදි යැයි මතයේ සිටින බවත්, ඔහු සමාව නොගන්නා බව ප්‍රකාශකර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.