ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට

ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට

May 30, 2025   03:16 pm

පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා කාර්මාන්ත අමාත්‍යංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතිය අනුව මෙම පොල් කිරි තොගය මෙරටට රැගෙන විත් තිබේ.

මෙම තොගය, 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන වන ශිතකල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන) ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය ද වන බව අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත බවත් මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගනිමින් දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අපේක්ෂා කරනු ඇත.

එමෙන්ම, මෙම ගෙන්වන ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිත බවද එම අමාත්‍යංශය සඳහන් කර තිබේ. 

එමෙන්ම මෙම තොගය විවෘත කිරිමේ අවස්ථාව හෙට (31) දින උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදි සිදු කිරිමට නියමිත බවද එම අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.