මධ්‍යම කඳුකරයට වැස්සෙන් දැඩි බාධා - ආපදා රැසක්

මධ්‍යම කඳුකරයට වැස්සෙන් දැඩි බාධා - ආපදා රැසක්

May 27, 2025   10:21 am

හැටන් -  කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) දින අලුයම ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

හැටන් පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අභියස පිහිටි විදුලි සහ දුරකථන කණු කිහිපයක් කැඩී ගොස් තිබේ.

හැටන් වනරාජා වත්තේ වතු නිවාස පේළියක් මතට අඹ ගසක් කඩා වැටීමෙන් වතු නිවාස තුනක වහලවල් සහ මුළුතැන්ගෙයි බිත්තිවලට අලාභ හානි සිදු වීඇත.

පවත්නා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතිය මතට ගස් සහ ගස්වල අතු කඩා වැටීමෙන් හැටන්, නෝර්වුඩ්, කොටගල, නෝර්ටන් යන ප්‍රදේශවල විදුලි බලය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශවලට කඩිනමින් විදුලි බලය ලබා දීමට පියවර ගන්නා බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේය.