මාරක අනතුරු කිහිපයක් - සිව්දෙනෙක් මරුට

මාරක අනතුරු කිහිපයක් - සිව්දෙනෙක් මරුට

May 27, 2025   07:10 am

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

ඊයේ (26) එම අනතුරු සිදුව තිබුණේ කෑගල්ල, වාලච්චේන, මාතලේ සහ  කැකිරාව යන පොලිස් වසම්වලදීය.

කෑගල්ල පොලිස් වසමේ බෙරගල මාර්ගයේ බූම්ට්‍රක් රථයක් කෑගල්ල දෙසට මුහුණලා නවතා රියදුරු රථයෙන් බැස ලීවර පද්ධතිය ආධාරයෙන් දැව කඳන් පටවමින් සිට ඇති අතර එක්වරම එම රථයේ ආධාරක ගිළිහී යාමෙන් මාර්ගයේ පහළට ඇදී ගොස් ඇත.

එම අවස්ථාවේ බූම් ට්‍රක් රථයට ඉදිරියෙන් කෑගල්ල දෙසට යාමට සූදානම්ව නවතා තිබූ යතුරු පැදියක පසුපසින් ගැටී තිබේ.

අනතුරින් යතුරුපැදිකරු හා පැදිකරුගේ දියණිය තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර වාලච්චේන රෝහල වෙත තුවාල සහිත පුද්ගලයෙකු ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, සුංගන්කේණි ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි අයෙකි.

තුවාලකරු මාර්ගයේ වැටී සිටියදී අනන්‍යතාවය හෙළි නොකරන ලද පුද්ගලයෙකු විසින් රෝහලට ඇතුළත් කර ඇත. 

එම පුද්ගලයා විසින් තුවාලකරු වැටී සිටි බවට දන්වා සිටි 18 කණුවට ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ අනතුරක් බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

මේ අතර මාතලේ වත්තේගම මාර්ගයේ උකුවෙල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව වම් පසට ධාවනය වී මෝටර් රථයක ගැටී ත්‍රිරෝද රථය පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි අයෙකි.

මේ අතර  කැකිරාව දඹුල්ල මාර්ගයේ ඇලගමුව ප්‍රදේශයේදී මහනුවර දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ බස් රථයක මාර්ගය හරහා ගමන්කළ අත්ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරක් 49 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.