අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

May 27, 2025   06:08 am

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.