පුංචි ඡන්දයට අදාළ ආදායම් සහ වියදම් වාර්තා භාර දීම හෙටින් අවසන්

පුංචි ඡන්දයට අදාළ ආදායම් සහ වියදම් වාර්තා භාර දීම හෙටින් අවසන්

May 26, 2025   05:15 pm

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් නිවාමන පනත යටතේ භාරදිය යුතු ආදායම් සහ වියදම් වාර්තා භාරදීමේ අවසන් දිනය හෙට (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙතෙක් එම වාර්තා භාර නොදී ඇති දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින්, කණ්ඩායම්වල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තමන්ගේ ආදායම් සහ වියදම් වාර්තා හෙට මධ්‍යම රාත්‍රි 12ට පෙර තමන් ඉදිරිපත් වූ දිස්ත්‍රික්කයේ ඇති තේරීම් භාර නිලධාරීවරයා වෙත භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මෙම වාර්තා ලබා දීමට ඇති කාලය හෙට මැදියම් රැයෙන් අවසන් වීමට නියමිත අතර එකී කාලය කිසි සේත් දීර්ඝ නොකරන බවත් පනත ප්‍රකාරව ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා භාර දීම සිදුකළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.

සභාපතිවරයා පැවසුවේ වියදම් වාර්තා භාර දීම සඳහා පැමිණ භාර දිය හැකි බවත් එසේ නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ වෙබ් අඩියක් ඒ සඳහා සකලා ඇති බවත් ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රි 12ට පෙර වියදම් වාර්තා ලබා දිය යුතු බවය. 

එමෙන්ම වියදම් වාර්තා භාර ගැනීම සඳහා හෙට දිනයේදී මධ්‍යම රාත්‍රි 12 දක්වා දිවයිනේ සියලු මැතිවරණ කාර්යාල විවෘතව තැබීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

සෑම අපේක්ෂකයෙක්ම සහ දේශපාලන පක්ෂයක්ම තමන් විසින් වියදම් කළ හෝ නොකළ අදාළ වියදම් වාර්තා භාර දීම සිදුකළ යුතු අතර වියදම් නොකර ඇත්නම් ඒ පිළිබඳවද සටහනක් භාර දිය යුතු බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව වියදම් වාර්තා ලබා නොදෙන පිරිස් සම්බන්දව තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබා දෙන බවය.

ඒ අනුව ඉදිරියේදී මැතිවරණ පනත අනුව අවශ්‍ය විදි විධාන යොදවමින් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.