රන් ආලේපිත T56 අවියක් රැගෙන නිවාස සංකීර්ණයකට ඇතුළුවූ කාන්තාවක් ගැන විමර්ශන
May 20, 2025 03:58 pm
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගත් බවය.
කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ තම නිවසට T56 ගිනි අවියක් රැගෙන යන බව දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු මේ බව පොලීසියට දන්වා ඇත.
පසුව වැල්ලවත්ත පොලීසිය මෙම ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.
වැල්ලවත්ත පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ අදාළ කාන්තාව 67 වැනි වියේ පසුවන්නියක් බවය.
ඇයගේ මෝටර් රථයේ පිටුපස දොර විවෘත කර තිබියදී එහි බෑගයක් තුළ රන් ආලේපිත ගිනිඅවියක් තිබෙන බව දුටු නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙක් ඒ බව පොලීසියට දැනුම්දී තිබුණි.
පොලීසිය සඳහන් කළේ මෙම ගිනි අවිය සැබෑ එකක් ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවය.