ලංවිම ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතුයි - සජිත්
May 18, 2025 08:11 am
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමක් බවය.
මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි ගාස්තු වැඩිකිරීමකට රජය කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රජය පොරොන්දු වූ ආකාරයට විදුලි බිල තවත් සියයට 13කින් අඩු කිරීමට තිබියදී මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය තරයේ හෙළාදකින අතර මෙම තීරණයට එරෙහිව ජනතාව සමග එකට සිට ප්‍රජාතන්ත්‍රවාදී සටනක නිරත වීමට සමගි ජනබලවේගය කිසිසේත් පසුබට නොවන බව සිය නිවේදනය මගින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.