ෆෝබ්ස් සඟරාවේ 30න් පහළ විශිෂ්ටයින් 30 දෙනා අතරට ලංකාවේ නම් තුනක්
May 15, 2025 02:02 pm
Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබේ.
'Wild Cookbook' YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා,
ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර,
දත්ත විද්‍යාඥයෙක් මෙන්ම Synapse AI Labs හි නිර්මාතෘ වන නිකින් මාතරආරච්චි යන අයගේ නම් මෙලෙස ඇතුළත්ව ඇත.
'Wild Cookbook'නාළිකාව පසුගිය මාර්තු මස 28වනදා සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.
ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාළිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය.
2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත.
චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් විය.
මේ අතර යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත.
ඇය විසින් ආරම්භ කළ Silver Aisle යනු විවාහ උත්සව සඳහා තෑගි වෙන්කිරීමට මෙරට පළමුමෙන්ම ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වේ.
2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වනවිට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් හිමිකර ගෙන ඇත.
එමෙන්ම නිකින් මාතරආරච්චි මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ සමාජ මාධ්‍ය, අලෙවිකරණ සහ සන්නාම ප්‍රවර්ධනය යන කාණ්ඩයෙන්ය.
වෙළෙඳනාම සහ ව්‍යාපාර සඳහා AI tools නිර්මාණය කරන කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Synapse AI Labs ආයතනයේ නිර්මාතෘය.
AI සහ අලෙවිකරණ තාක්ෂණයේ නැගීඑන බලවේගයක් ලෙස ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදීමට නිකින්ගේ දැනුම උපකාරී වී ඇත.
නිකින් මේ වනවිට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කෘතිම බුද්ධිය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටියි.