මානුෂීය මෙහෙයුමේදී සොයාගත් රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්
May 5, 2025 01:15 pm
උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, ඔවුන්ගේ නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ භාර ගෙන ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවාය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේ කොටි සංවිධානයේ බැංකු, කඳවුරු සහ ගොඩනැගිලි ආදියෙන් සොයාගත් රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන බවත් ඒවා බාරගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නියෝග කීපයක් ලබා ගැනීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවත් සඳහන් කළාය.
මේ ආකාරයෙන් සොයාගත් රන් භාණ්ඩ යැයි සැලකෙන ආයිත්තම් 10,000ක් පමණ තිබෙන බවත් ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වාර්තා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කළාය.
ඒ අනුව එක් දිනකට පරික්ෂා කළ හැක්කේ භාණ්ඩ තුන්සියයක් පමණක් බවත් ඒ අනුව කොටස් වශයෙන් පරීක්ෂාව සඳහා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විසින් අයැද සිටි නියෝග කිහිපයක්ම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළාය.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේ ඉල්ලීමක් කරමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේප්පුවල පවතින රන් භාණ්ඩ යැයි සැලකෙන ද්‍රව්‍යවල රන් බර, සංයුතිය පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික ස්වර්ණාභරණ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දුන්නාය.
එමෙන්ම අදාළ රන් භාණ්ඩ කිරුම් මිනුම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් එම කටයුතු සඳහා සහාය වන ලෙස ලංකා බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මීට අදාළ නියෝගය ලංකා බැංකුව වෙත නිකුත් කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ තවත් ඉල්ලීමකට ඉඩ දුන් මහෙස්ත්‍රාත්වරිය මෙම කටයුතු ඉටු කිරීම සඳහා ලංකා බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු නම් කරන ලෙසත් නියෝග කළාය.
තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අදාළ රන් භාණ්ඩ යැයි සැලකෙන ද්‍රව්‍ය මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ පර්යේෂණ හා ලේඛනාගාරයේ රඳවා තිබෙන අතර එම ස්ථාන ඡායාරූප ගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීමට ඉඩ දුන් මහෙස්ත්‍රාත්වරිය අදාල ස්ථානය ඡායාරූපගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ නිලධාරීන්ට අවසර දෙන ලෙස යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේඛන හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට තවත් නියෝගයක් නිකුත් කළාය.
මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවා තැබීමට අවශ්‍ය නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළාය.
මෙසේ භාරගන්නා භාණ්ඩ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවාය.
එමෙන්ම අදාළ රන් භාණ්ඩ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට අදාළ කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ නිලධාරියකු පත කරන ලෙසත්
මහෙස්ත්‍රාත්වරිය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළාය.
ඊට අමතරව මෙම කටයුතුවලට සහාය වීමට අවශ්‍යය නියෝග කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශය ඇතුළු ආයතන වලට තවත් නියෝග කිහිපයක්ද නිකුත් කළාය.