ඩෑන් ඝාතනයේ වෙඩික්කරු පිළිබඳ තවත් තොරතුරු හෙළිවෙයි 

ඩෑන් ඝාතනයේ වෙඩික්කරු පිළිබඳ තවත් තොරතුරු හෙළිවෙයි 

May 3, 2025   12:45 pm

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (02) පස්වරුවේ කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ ඝාතනය පිළිබඳව ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධියේ ද ප්‍රධාන සැකකරුවන් වන බන්දුල පියල් හා මාධව සුදර්ශන පිය පුතු දෙදෙනාට චෝදනා එල්ල වූ අතර සිද්ධියෙන් පසුව ඔවුන් සිය නිවෙස් අතහැර පලාගොස් සැඟවී තිබුණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනය දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඊට දින දෙකකට පසුව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණි.

දුලාන් නම් එම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

ඊට අදාළව පියපුතු දෙපළ සම්බන්ධයක් ඇති බවද අනාවරණ වී ඇත.

ඒ අනුව සැකකාර පියපුතු දෙපළගේ පියා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

52 හැවිරිදි බන්දුල පියල් නම් අදාළ පුද්ගලයා වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරයි.

කොලොන්නාව සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් අප්‍රේල් 22 වනදා රාත්‍රියේ දීය.