සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන්න - සජිත්

සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන්න - සජිත්

May 1, 2025   09:42 am

වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය මැයි දින පණිවිඩය මගින් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ වර්තමාන රජය වැඩකරන ජනතාවට ලබා දුන් පොරොන්දු සහ ප්‍රතිපත්ති කඩ කරමින් කටයුතු කරන බවය.

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ මැයි දින පණිවිඩය පහතින්,

අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වනුයේ වැඩ කරන ජනතාව යි. වර්තමානයේ ලෝකයේ ආර්ථික ප්‍රවණතා හමුවේ රටක කම්කරු පන්තියේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ නව මානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි.

ඒ සඳහා වැඩ කරන ජනතාව දැනුවත් කිරීම සහ පෙළගැස්වීම කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරයේ අත් නොහල යුතු වගකීමක් බව මාගේ විශ්වාසය යි.

ගෝලීය වෙළෙඳපොළ තුළ මතුව ඇති වෙළෙඳ යුද්ධයේ දී සෘජු හා වක්‍ර බලපෑමට ද ලක් වූයේ වැඩ කරන ජනතාව යි. මෙය අභියෝගයක් ලෙස සලකා විසඳුම් සෙවීමට වහාම උත්සුක විය යුතු ය. එහි දී හුදකලා දූපත් මානසිකත්වයෙන් බිඳී ගෝලීය ස්ථායීකරණයකට දායක වීමට කටයුතු කිරීම වැදගත් වේ.

සම්ප්‍රදායික දේශපාලනයේ සහ බලය ලබා ගැනීමට වැඩ කරන ජනතාව උපයෝගී කර ගත් වර්තමාන පුනරුද ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාත්මක වනුයේ වැඩ කරන ජනතාවට ලබා දුන් පොරොන්දු ප්‍රතිපත්ති පසෙකට විසි කරමිනි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සෘජු හා වක්‍ර බලපෑමකට ලක්ව ඇති වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන මෙන් ඉල්ලා සිටිමු.