දේශබන්දු ධුරයෙන් ඉවත් කරන කමිටුව අදත් රැස්වෙයි

දේශබන්දු ධුරයෙන් ඉවත් කරන කමිටුව අදත් රැස්වෙයි

April 25, 2025   10:09 am

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව කරුණු සොයාබැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව අද (25) යළිත් රැස්වීමට නියමිතව ඇත.

මෙම කමිටුව පළමු වරට පසුගිය බදාදා (23) දිනයේදී රැස්විය.

අදාළ කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල මහතාත් පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක මහතාත් කටයුතු කරයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතාට චෝදනා එල්ලවී තිබේ.

එම සිද්ධියට අදාළව බන්ධනාගරගතව සිට පසුගිය 10 වනදා ඇප ලබා මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගවලට අනුගත නොවුණේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට මේ මස 21වන දින කරුණු වාර්ථා කර තිබුණි.

ඒ අනුව හිටපු පොලිස්පතිවරයාට අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නොතිසි නිකුත් කර තිබුණි.

ඒ මහතාට ඇප ලබා දුන් අවස්ථාවේදී එතුමන්ගේ නිතිඥයින් විසින් ඇප ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව යන තුරු  ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ දේශබන්දු තෙන්නකොන් යනු නඩුවක  සැකකරු බවත් එබැවින් අනෙකුත් සැකකරුවන්ට නොමැති විශේෂ ආරක්ෂාවක් ලබාදීම එම සැකකරුවන්ට සිදු කරන අගතියක් බවය.

එලෙස මහේස්ත්‍රාත්වරයා තීන්දුවක් ලබාදී ඇති පසුබිමක දේශබන්දු තෙන්නකෝන් මහතා මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයේ පිටුපස කොටසට ගෙන්වාගෙන අධිකරණ භූමියෙන් පිටව ගිය අතර ඒ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්ථා කළේය.

නොතීසි නිකුත් කරන ලද තෙන්නකොන් මහතා අද පෙරවරුවේ මාතර අධිකරණයට පැමිණි අතර සාමාන්‍ය ජනතාව අධිකරණයට පිවිසෙන ප්‍රධාන ගෙට්ටුව ඔස්සේ සමාන්‍ය ආකාරයට අධිකරණ භූමියට ප්‍රවේශ විය.

අද දිනයේ මාතර අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව හා ඒ අවට විශේෂ ආරක්ෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක අතර අධිකරණ පරිශ්‍රය තුළට යන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කරන අයුරුද දක්නට ලැ⁣බුණි.