ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීම හදිසියේ නතර කරයි

ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීම හදිසියේ නතර කරයි

April 18, 2025   01:48 pm

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සහ නිලධාරී මණ්ඩලය වහාම ඉවත්කර ව්‍යාවස්ථාවට අනුව නව නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරුන්, ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි කටයුුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අති විශේෂ මහසභා රැස්වීමක් ඊයේ (17) පැවැත්වූ අතර එම හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරුන් මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අරමුදල් අත්හිටුවීම ඇතුළුව ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අතිවිශේෂ මහා සභා රැස්වීමක් ඔලිම්පික් නිවහනේදී ඊයේ මෙලෙස කැඳවා තිබුණි.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මෙම විශේෂ මහා සභා රැස්වීම ආරම්භ වුයේ පස්වරු 5.30ට පමණය.

සමාජික සංගම් 27කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණු  රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පැවැත්වුණු අතර රාත්‍රී 9ට පමණ හදිසියේ රැස්වීම නවතා දැමීමට ඔලිම්පික් කමිටු සභාපතිවරයා කටයුතු කළ බවද වාර්තා විය.