හදිසි අනතුරු හේතුවෙන් මිය යන පිරිස් ගැන හෙළිදරව්වක්
April 13, 2025 07:32 am
හදිසි අනතුරු හේතුවෙන් රජයේ රෝහල් වෙත නේවාසිකව ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනු ලබන්නේ අලුත් අවුරුදු සමය හේතුවෙන් බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
ඒ අනුව සෑම වසරකම අප්‍රේල් 8-16 අතර කාලය තුළ රජයේ රෝහල්වලට හදිසි අනතුරු හේතුවෙන් ඇතුළත් වීම් සිදුවන බවත් අනතුරු හේතුවෙන් නේවාසික ප්‍රතිකාර සඳහා සතිපතා ඇතුළත් වීම් සාමාන්‍ය සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ 20,000 - 24,000 දක්වා වුවද අවුරුදු සමයේදී එය 22,000 සිට 28,000 දක්වා වැඩි වී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙම අනතුරු සඳහා මාර්ග අනතුරු ඉහළ යාම, සතුන් දෂ්ට කිරීම්, විෂ ශරීරගතවීම් මෙන්ම හිංසනයන්ද හේතු විය හැකි බවය.
එමෙන්ම මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් බහුතරයක් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අනාවරණය කරනු ලැබුවේ එය වසරකට මිලියනයකට ආසන්න අගයක් ගන්නා බවය.
එය 2019 වසරේදී මිලියන 1.3කට වඩා වැඩි අගයත් ගත් බවත් 2020-2021 වසරවලදී මෙම ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබුනද 2022-2023 වසරවල නැවතත් මෙම ප්‍රවණතාවට ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 05-10ත් අතර කාලය තුළ තවදුරටත් ඉහළ යා හැකි බව ඇස්තමේන්තු කර ඇතැයිද එය වර්ථමාන අගයන්වලට වඩා ලක්ෂ 02කට ආසන්න අගයක් ගනු ඇති බවය.
එමෙන්ම මෙම රෝහල්ගතවන පිරිස අතුරින් සෑම 06 දෙනෙකුගෙන් එක් අයෙකු හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන බවත් මෙම සෑම අනතුරක්ම වළක්වා ගත හැකි අනතුරු බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සෑම වසරකම මිනිසුන් 140,000- 150,000 අතර ප්‍රමාණයක් විවිධ හේතු මත ජීවිතක්ෂයට පත්වන බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඉන් 07%ක් අනතුරු හේතුවෙන් සිදුවන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා,
"අපේ දැනුවත්වීම අනුව 10,000-12,000ත් අතර ප්‍රමාණයක් හැම අවුරුද්දකම මිය යනවා අනතුරුවලින්. මේ සෑම එකක්ම වළක්වා ගත හැකි දේවල්. සෑම පැය 3කට සැරයක් 04 දෙනෙක් මිය යනවා. හැම දවසකම 30-34ක් අතර ප්‍රමාණයක් මිය යනවා විවිධාකාර අනතුරු නිසා. මේක වැඩිපුරම දැනෙන කොට්ඨාසයක් තමයි අවුරුදු 15-44 කියන වයස් කාණ්ඩය. ඒක හරහා වෙන්නේ අපේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා. සහ සෞඛ්‍යට වෙන් කරන මුදලින් අති බහුතරයක් වියදම් කරන්න වෙන්නේ අනතුරුවලට ප්‍රතිකාර කරන්න."