සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ තීරණයෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් කඩා වැටෙයි
April 7, 2025 10:55 am
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද, තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටුණි.
මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර තිබේ.
එමෙන්ම ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ අමෙරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව පවතී.
එය නිවේදනය කෙරුණු පසුගිය අප්‍රේල් දෙවැනිදා සිට ගෝලීය කොටස් වෙළෙඳපොළවලට ඉන් එල්ල වෙමින් පවතින්නේ සුළුපටු බලපෑමක් නොවේ.
ඉන් වැඩිම බලපෑමකට ලක්වූ ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේදීත් කැපී පෙනෙන ලෙස කඩා වැටුණි.
ජපානයේ නිකේ කොටස් වෙළෙඳපොළ සියයට 6.3ක කඩා වැටීමකට ලක්ව තිබූ අතර හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී සියයට 9.8ක කඩා වැටීමකට ලක්ව තිබුණි.
තායිවාන කොටස් වෙළෙඳපොළ ද සියයට 9.8ක කඩා වැටීමක් පෙන්නුම් කළේ, සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ සියයට 7කට වැඩි පසුබෑමකට ලක්ව තිබියදීය.
ලොවපුරා තවත් වෙළෙඳපොළ සියල්ලම පාහේ අද (07) දිනයේ දැක්වුණේ සැලකිය යුතු පසුබෑමකය.
ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බවට අමෙරිකානු පරිපාලන පවසයි.
මේ අතර බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බව ඉන්දීය රජය දැනටමත් නිවේදනය කර අවසන්ය.
අමෙරිකානු ආනයන තවත් පුළුල් කිරීමටත් ඒවා මත පනවා ඇති බදු බිංදුව දක්වා පහත හෙලීමටත් තායිවාන ජනාධිපති විලියම් ලායි ගේ සූදානමින් සිටි.
එමෙන්ම තම රටට පනවා ඇති සියයට 46ක බදු පහත හෙලන ලෙස ඉල්ලා ට්‍රම්ප් සමඟ දැනටමත් සාකච්ඡා ඇරඹීමට වියට්නාම කමියුනිස්ට් පාලනය පියවර ගෙන තිබේ.
එමෙන්ම තීරුබදු පිළිබඳ සාකච්ඡා සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අමෙරිකාව බලා ගමන් කිරීමට නියමිතය.