රෝස උයනේ ප්‍රකාශනයෙන් හෙල්ලුණු අමෙරිකාව - කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

රෝස උයනේ ප්‍රකාශනයෙන් හෙල්ලුණු අමෙරිකාව - කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

April 4, 2025   03:18 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෝස උයනේ ප්‍රකාශනය මඟින් ලෝකයේ සෑම රටකටම පාහේ පැනවූ බදුවලින් ඔහු අදහස් කළේ, අමෙරිකාව නැවතත් ධනවත් රාජ්‍යයක් කිරීම වුවත් එම අරමුණ ඉටුවේදැයි දැන් සිටම සැක මතුවන්නට පටන්ගෙන තිබේ. 

ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හිදී ජනපති ට්‍රම්ප් මෙම බදු ප්‍රකාශයට පත්කිරීම නිසා දැන් ඇතැමුන් එය හඳුන්වන්නේ රෝස් ගාඩ්න් ප්‍රොක්ලමේෂන් (ROSE CARDEN PROCLAMATION) නැත්නම් රෝස උයනේ ප්‍රකාශනය විදියට ය.

එහිදී ඔහු පොදුවේ ලෝකයේ සෑම රටකටම 10%ක තීරු බද්දක් සහ ශ්‍රී ලංකාවට 44%ක් ඇතුළු තවත් රටවල් රැසකට ඉහළ තීරු බදු ප්‍රකාශයට පත් කළ බව අප ඊයේ ඔබට වාර්තා කළේය. 

එම පියවර කොතරම් ප්‍රායෝගික ප්‍රතිඵල ගෙනඒවිද යන්න ප්‍රශ්නයක් බවට පත්කරන වාතාවරණයක් තමයි ඊයේ (03) අමෙරිකානු වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළින් වාර්තා වුණි.

එහිදී අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක තුනම කැපී පෙනෙන ලෙස පහත වැටුණි. 

මූලික දත්තවලට අනුව සංඛ්‍යාත්මකව කිව්වොත් එස් ඇන්ඩ් පී ෆයිව් හන්ඩ්රඩ් (S R P 500)  ඒ කියන්නේ අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පෙළේ සමාගම් 500යේ කොටස් නියෝජනය කරන දර්ශකය ඊයේ ඒකක 2755.05කින් ඒ කියන්නේ 4.85%කින් පමණ පහත වැටුණි.

තවත් දර්ශකයන් තමයි නැස්ඩක් කොම්පොසිට් දර්ශකය.

සියලු කොටස් සහිත එම දර්ශකයත් ඒකක 1053.60කින් ඒ කියන්නේ 5.99%කින් පහත වැටී තිබේ.

කාර්මික සමාගම් කොටස් ඇතුළත් ඩව් ජෝන්ස් ඉන්ඩස්ට්‍රියල් ඇවරේජ් දර්ශකයත් ඒකක 1682.61 කින් නැත්නම් 3.98%කින් පමණ පහත වැටී තිබේ.

මෙහිදී කියන්න ඕන කාරණයක් තමයි අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ මෙම පහත වැටීම, වසර ගණනාවකින්, නැත්නම් 2020 කොවිඩ් වසංගතයෙන් පස්සේ දිනකදී ඇතිවූ දරුණුතම පසුබෑම බව.

එස්.ඇන්ඩ්.පී ෆයිව් හන්ඩ්රඩ් දර්ශකයට ඊයේ දිනයේදී පමණක් ඩොලර් ට්‍රිලියන 2.4ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීයකරණය අහිමි වෙලා තිබේ.

ඒකට හේතුව විදියට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරුබදු මහා පරිමාණ වෙළෙඳ යුද්ධයක් බවට පත්වී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානමයි.

මේ තත්ත්වය හමුවේ ආයෝජකයන් අවදානම් සහගත ආයෝජනවලින් ඈත්වෙලා රජයේ බැදුම්කර, රත්‍රං වගේ ස්ථාවර ආයෝජනවලට යොමුවීමක් දක්නට ලැබේ.

ඇත්තෙන්ම ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරු බදු, ව්‍යාපාර හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔහු මීට මාස කිහිපයකට පෙර ලබාදුන් ප්‍රතිඥාවෙන් පිට පැනීමක් විදියටත් හැඳින්විය හැකිය.

ඒ අවස්ථාවේ අමෙරිකානු කොටස් වෙළෙඳපෙළේ වාර්තාගත වර්ධනයක් දක්නට ලැබුණි. 

එහෙත් දැන් ආයෝජකයන්ට නව ආර්ථික යථාර්ථයකට මුහුණදීමට සිදුව තිබේ.

එයින් ප්‍රධාන කාරණයක් තමයි ජනපති ට්‍රම්ප්ගේ රෝස උයනේ බදු ප්‍රකාශනයට ලෝකයේ අනෙක් රටවල් දක්වන ප්‍රතිචාරය අවිනිශ්චිතවීම. 

54%ක තීරු බදු පැනවූ චීනය මෙන්ම 20%ක බදු පැනවූ යුරෝපා සංගමය ඊට සරිලන ප්‍රතිචාරයක් දක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මෙක්සිකෝවට සහ කැනඩාවට අලුතින් බදු එකතු නොකළත් කලින් ප්‍රකාශයට පත් කළ 25%ක බද්ද එලෙසින්ම ක්‍රියාත්මක වේ.

කැනඩාව ඊයේ ප්‍රකාශ කළා අමෙරිකානු - කැනඩා - මෙක්සිකෝ වෙළෙඳ ගිවිසුමට අයත් නොවන මෝටර් රථ ආනයන සඳහා 25%ක තීරු බද්දක් පනවන බව.

මේ අවස්ථාවේදී එකට එක කිරීමට බලාපොරොත්තු නොවන බව මෙක්සිකෝවේ  නව ජනාධිපතිනිය පැවසීය.

ඔවුන් මෙන්ම දකුණු කොරියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා වගේ තවත් රටවල් රැසක් අප්‍රේල් 9 වැනිදා මෙම ඉහළ තීරුබදු ක්‍රියාත්මක වීමට පෙර යම් සහනයක් ලබාගැනීම සඳහා ප්‍රවේශ වී සිටී.

මේ නිසා ඉදිරි දින කිහිපය ලෝක ආර්ථිකයේ දැඩි විචලනයන් අපේක්ෂා කළ හැකි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු පොදුවේ ගෝලීය ආර්ථිකයට බලපාවි ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව තමයි එම තත්ත්වය උදාකර තිබේ. 

අමෙරිකානු කොටස් වෙළෙඳපොළ තුළින් ඊයේ දක්නට ලැබුණු තවත් කාරණයක් තමයි එහි මෑතකාලීන වර්ධනයට විශේෂයෙන් දායක වූ තාක්ෂණික සමාගම්වල කොටස් කැපී පෙනෙන ලෙස පහත වැටීම.

තම සමාගමේ අයිෆෝන් බහුතරයක් නිෂ්පාදනය කරන චීනයට ඉහළ බදු පැනවීම නිසා ඇපල් සමාගමේ කොටස් මිල වගේම ඇමසන් සහ එන්වීඩියා කොටස් ද ඊයේ කැපී පෙනෙන ලෙස පහත වැටීමක් දක්නට ලැබුණි.

ජනපති ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ඇති වන ආර්ථික හානිය පිළිබඳව ආයෝජකයන් අවධානය යොමු කිරීම තමයි මේ තත්ත්වයට හේතුව.

මෙහිදී චීනයේ නිෂ්පාදනය කරන අයිෆෝන් එකක තීරුබදු පාරිභෝගිකයාට එක් කළහොත් අයිෆෝන් එකක මිල ඩොලර් 2300 දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.

ආර්ථික අවදානම්වලට සංවේදී අමෙරිකාවේ සිටි ගෘෘප් සහ බෑන්ක් ඔෆ් අමෙරිකා වැනි ප්‍රධානපෙළේ බැංකු කොටස් ද ඊයේ කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. 

එක්සොන් මොබිල් සහ චෙව්රොන් වැනි අමෙරිකානු ඛනිජතෙල් සමාගම්වල කොටස් මිල පහත වැටුණේ ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඊයේ විශාල වශයෙන් පහත වැටීමත් සමගයි. 

ඔපෙක් සංවිධානය විසින් නිෂ්පාදනය ඉහළ නැංවීම කඩිනම් කිරීමට ගෙන ඇති තීරණය වගේම ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු නිසා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඊයේ දිනයේ 6.8%කින් පමණ පහත වැටුණි. 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් ඩොලර් 70කටත් වඩා අඩු වී තිබේ.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 67කටත් වඩා අඩු මිලකට ය.