ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට එරෙහි පෙත්සම සලකා බැලීම අප්‍රේල් 03 වැනිදා
April 1, 2025 04:26 pm
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම කරුණුවට අදාළව ගොනුකර තිබෙන රිට් පෙත්සම් 37 ක් අද (01) එස්.තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් තුනකට අදාළව සමථයක් ඇති කර ගත හැකි බව සඳහන් කළාය.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් සති අන්තයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ නීතිපතිවරයා මෙන්ම පෙත්සම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවත් පිළිගත හැකි මට්ටමේ සුදුසුකම් සපුරා තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් පිළිගැනීමට තීරණය කර තිබෙනව බවත් ඇය දැනුම් දුන්නාය.
ඒ අනුව එම පෙත්සම් තුන ඉවත් කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ඉල්හාම් කාරියප්පන් යන මහත්වරු අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සෙසු පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවත් දැනුම් දුන්නාය.
පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කළාය.
එවැනි රිට් පෙත්සම් අභියෝගයට ලක් කළ හැක්කේ අභියාචනාධිකරණය හමුවේ බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් ඇය සඳහන් කර සිටියාය.
ඒ අනුව මෙම රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වැඩිදුරටත් කරුණු දක්වා සිටියාය.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ දර්ශන වේරදූවගේ සහ ඉල්හාම් කාරියප්පර් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ නියෝග සහ විධිවිධානයන් අනුව බව සඳහන් කළේය.
ඒ අනුව තේරීම්භාර නිලධාරී වරයා විසින් ඉටු කරන කාර්යයක් මැතිවරණ කොමිසමේ කටයුත්තක් සේ සලකා රිට් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට පෙත්සන්කරුවන්ට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නේය.
සිය සේවාදායකයින් විසින් භාරදුන් නාමයෝජනා පත්‍ර සමඟ භාර දෙන ලද අපේක්ෂකයින්ගේ උප්පැන්න සහතිකවල ඇති ඌනතා, දිවුරුම් ප්‍රකාශයන් නිසි පරිදි සම්පූර්ණ කර නොතිබීම, යනාදී කරුණු මත එම නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් මෙහිදී ජනාධිපති නීතීඥ නිසාම් කාරියප්පන් මහතා සහ නීතීඥ ඉල්හාම් කාරියප්පන් මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ඉන් අනතුරුව සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ජන අරගල සංවිධානය, ඇතුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම් 37 ක් සම්බන්ධයෙන් වෙන් වෙන්ව කරුණු සලකා බැලීම සිදුකෙරුණි.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 03 වනදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.