මිනුවන්ගොඩ පොලිස් වෙඩිතැබීමක් - අයෙක් රෝහලේ
April 1, 2025 04:10 pm
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (01) දහවල් පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් වැල්හේන පොලිස් මාර්ග බාධකයේදී යතුරුපැදියකට නතර කිරීමට අණ කර ඇති අතර එහිදී යතුරුපැදිය නොනවත්වා ධාවනය කර තිබේ.
අනතුරුව නිලධාරීන් දෙදෙනෙකු අදාළ යතුරුපැදිය හඹාගොස් නතර කරගෙන ඇති අතර එහිදී යතුරුපැදියේ සිටි තරුණයින් දෙදෙනා නිලධාරීයෙක් සතු රාජකාරී ගිනිඅවිය පැහැරගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.
එහිදී පොලිස් නිලධාරීන් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර ඉන් එක් තරුණයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ලහිරු දිලන්ත නම් මිනුවන්ගොඩ රාජසිංහපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වන්නේ තරිඳු හේෂාන් නම් උග්ගල්බොඩ, උණපඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.