එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නට වන්දි ඉල්ලූ පෙත්සම විභාගයට
March 25, 2025 06:05 pm
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය සහ ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි
මෙම පෙත්සම් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කර තිබුණි.
අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාග විභාගයට ගැනුණි.
එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බව සඳහන් කර සිටියේය.
අදාළ නෞකාවේ ගබඩා කර තිබූ නයිට්‍රික් අම්ල කාන්දුවීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඊට එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම එහි හිමිකාර සමාගම වගකිවයුතු බව අවධාරණය කළේය.
අදාළ නෞකාව තුළ තිබූ නයිට්‍රික් අම්ල අඩංගු බහාලුම් දෙකකින් මෙම අම්ල කාන්දුව සිදුවී ඇති අතර ඒ පිළිබඳව දින නවයක් තිස්සේ දැනුවත්ව සිටියද එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර නොමැති බවත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වෙත වගකීම් පැවරිය නොහැකි යැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඊට අදාලව සුදුසු අධිකරණවල නඩු පවරා අදාළ නෞකාවේ හිමිකරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව පෞද්ගලික පාර්ශවයන්ගෙන් වන්දි අයැද සිටීමට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් හැකියාව නොමැති බවත් මීට අදාළව වන්දි අය කරදෙන ලෙස ඉල්ලා රජය විසින් ගොනුකර තිබෙන නඩුවලට අදාළ වන්දි මුදල් ලැබීමෙන් පසුව පීඩාවට පත් වුවන්ට වන්දි ගෙවීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.