මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම්වල දෛනික වාර්තාව
March 25, 2025 04:22 pm
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (24) දිනයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව තොරතුරු පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දී තිබේ.
එහි සඳහන් වන පරිදි ඊයේ දිනයේ දී අපරාධමය පැමිණිලි වාර්තා වී නොමැති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලට අදාළ පැමිණිලි 02 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පලකර ඇති බවට එම අපේක්ෂකයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිරිපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර, මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙත පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ කටවුට් එකක් ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධයෙන් නිර්ණාමික පැමිණිල්ලක් ලැබී ඇති අතර එම කටවුට් එක ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරනු ලබන බවත් දැනුම් දී ඇත.