වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධි 27කින් 22ක් මරුට

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධි 27කින් 22ක් මරුට

March 23, 2025   09:29 am

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ එම වෙඩි තැබීමේ සිදුවීම් 27ට අදාළව පුද්ගලයින් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

දිවයින පුරා සිදුවූ එම වෙඩි තැබීම් සාරාංශය පහතින්,

ජනවාරි මාසයේදී වෙඩි තැබීම්

ජනවාරි මස 04 - වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල ප්‍රදේශයේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 

සිද්ධියෙන් 26 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. 

ජනවාරි 07 - ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 36ක් සහ 20 වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ජනවාරි 09 - අහුංගල්ල ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුවූ අතර සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කළේය. 

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ ලොකු පැටී නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු බව පොලීසිය පසුව සඳහන් කළේය.

ජනවාරි 13 - දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කළේය.

කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නිවසේ ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර සිද්ධියෙන් දිවි බේරා ගැනීමට ව්‍යාපාරිකයා සමත් විය.

ජනවාරි 15 - දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර එදින අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

ජනවාරි 16 - මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කළේය. 

සිද්ධියෙන් එම පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගැනුණි.

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ සිටි දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක් විය.

එදිනම කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ දී ද වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.

මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

කෙසේ නමුත් එම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොවීය.

ජනවාරි 19 - ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 24 හැවිරිදි සහ 36 හැවිරිදි අයෙකි.

ඝාතනය සිදුකර විනාඩි 15ක් පමණ කාලයක් තුළදී පොලිසිය විසින් වෙඩිකරු බවට පවසමින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

වෙඩික්කරු එහිදී පොලීසිය හමුවේ පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත් මුදලකට මෙම ඝාතනය සිදු කළ බවත් තමන්ට මුලින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා දුන් බවත්ය.

ජනවාරි 22 - අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර කළේය. 

නමුත් වෙඩි තැබීමෙක් කිසිවෙකුටත් හානි සිදු නොවීය.

ජනවාරි 31 - ගාල්ල හිනිදුම, පනංගල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී පුද්ලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එහිදී පොලීසිය පැවසීය.

වෙඩි තැබීම සිදුව ඇත්තේ එම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළදී වන අතර වෙඩි ප්‍රහාරයෙන් එහි හිමිකරු ඇතුලු තිදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්විය.

පෙබරවාරි මාසයේ දී සිදුවූ වෙඩි තැබීම්

පෙබරවාරි 07 - මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවීතක්ෂයට පත් විය. 

එහිදී මියගොස් තිබුණේ 35 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

පෙබරවාරි 10 - කොටහේන බෙනඩික් මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කළ අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

එලෙස ඝාතනයට ලක්වූයේ 43 හැවිරිදි අයෙකි.

පොලීසිය පසුව අනාවරණය කරගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ 'පලනි ශිරාන් ක්ලෝරියන්' යන අයගේ පාර්ශවය විසින් මෙය සිදුකර ඇති බවය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් "පූකුඩුකන්නාගේ" සමීපතමයෙකු බවත් පොලීසිය පැවසීය.

පෙබරවාරි 19 - මිද්දෙණිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකි පුද්ගලයෙකු සහ ඔහුගේ දියණිය සහ පුතා ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ඝාතනයට ලක්වූයේ 'කජ්ජා' නමින් හැඳින්වූ පුද්ගලයෙකු වන අතර ඔහු සමග අවුරුදු 06ක් වූ දියණිය සහ 09 හැවිරිදි පුතනුවන් මෙලෙස ජීවිතක්ෂයට පත් විය. 

මේ අතර එදිනම සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නැමැත්තාට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ද වෙඩි තබා ඝාතනය කළේය.

නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුවිය.

නීතීඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර පසුව ඔහු පොලීසි විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වෙඩි තැබීම ගණේමුල්ල සජීවගේ පාර්ෂවයට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාර්ශ්වය විසින් සිදුකළ බවට පසුව පොලීසිය අනාවරණය කරගනු ලැබීය.

පෙබරවාරි 21 - ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මේ අතර එදිනම කොටහේන ගල්පොත හන්දිය අසලදී සිදුකළ වෙඩි තැබීමකින්ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර එහිදී එම පුද්ගලයින් දෙදෙනා එදිනම ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.

පෙබරවාරි 26 - මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කලේය.

වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගැනුණු අතර එලෙස තුවාල ලබා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බව පොලීසියට අනාවරණය වී තිබුණි.

මාර්තු මාසයේ දී සිදුවූ වෙඩි තැබීම්

මාර්තු 08 - ගම්පහ, අකරවිට ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර කළේය.

වෙඩි වැදීමේන් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කිරීමට එහිදී පියවර ගැනුණි.

මෙම වෙඩි ප්‍රහාරය ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ගෝලයෙකු වූ තම්මිට සුමිත් නැමැත්තා විසින් සිදුකළ බවට පසුව අනාවරණය විය.

මාර්තු 13 - ගාල්ල අක්මීමන, තලගල ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා නාඳුනන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

මේ අතර එදිනම වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු විය.

එහිදි තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට පියවර ගැනුණි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ 26 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එහිදී තුවාල ලබා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු බවද පසුව අනාවරණය විය.

මාර්තු 14 - අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඝාතනයට ලක්වූයේ අවුරුදු 39ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ  'පොඩි සුද්දා' නැමැත්තාය.

මාර්තු 17 - මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවිය.

වෙඩි ප්‍රහාරයෙක් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු එහිදී අනාවරණය නොවීය.

එදිනම සවස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදියේදී වෙඩි තැබීමක් සිදුවිය.

එම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 22 හා 28 යන වයස්වල පසු වූ පුද්ගලයින් දෙදෙනෙකි.

මාර්තු 22 - දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුවිය.

එහිදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කර වෑන් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

එම වෙඩි ප්‍රහාරයන් යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්විය.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම 28 හා 29 වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකි.