ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලූ දෙදෙනෙක් කොටුවෙයි
March 22, 2025 02:58 pm
මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ඉල්ලන කල්ලියක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිලි 25ක් සම්බන්ධයෙන් කළ විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ.
අවසන්වරට එම කප්පම්කරුවන් තමන්ව පාතාල සාමාජික දෙමටගොඩ චමින්ද බව හඳුන්වා දෙමින් දුරකථන ඇමතුම් දී මුදල් ඉල්ලා ඇත්තේ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකුගෙන්ය.
ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාමය හා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 42 හා 44 යන වයස්වල පසුවන්නන්ය.
ඔවුන් මුදල් වංචා සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර ගණනාවක් සිරදඬුවම් ලබා පැමිණි අය බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයන් ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ කුඩා ගිනිඅවියක්, මිලිමීටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 5ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් හා ජංගම දුරකථන 7ක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.