අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීගෙන් පැහැදිලි කිරීමක්
March 22, 2025 08:47 am
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණි.
අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 කි.
ඒ අනුව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් ජයගැනීමට රජය සමත්වුණි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගත් තීරණය පිළිබඳව ඔහු මෙලෙස අද දෙරණ වෙත අදහස් දක්වා සිටියේය.
"මේක ආණ්ඩුවේ පළවෙන් අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ."
"අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද ? කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ."