මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලන හේතු මෙන්න
March 19, 2025 04:44 pm
නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා අධිකරණය හමුවට පැමිණ සිටින්නේ වරප්‍රසාද දිනාගැනීමේ අපේක්ෂාවෙන් නොව ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් යැයි සඳහන් කළේය.
30 වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට තම සේවාදායකයා නායකත්වය දුන් බවත් එම නිසා ඔහු කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් බවට පත්වී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා එබැවින් ඔහුගේ ජීවිතයට මේ අවස්ථාව වනවිටත් ප්‍රබල තර්ජනයක් පවතින බව පෙන්වා දුනි.
අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යයෙන් මෙන්ම යුරෝපා සංගමය රටවල්වල කොටි සංවිධානය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර කොටි හිතවාදීන්ගේ බලපෑම් නිසා තම සේවාදායකයා හා ඔහුගේ සහෝදරයින් යුද අපරාධකරුවන් සේ සලකා ඔවුන්ට කැනඩාව තුළට ඇතුළුවීම වළක්වාලමින් එරට රජය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම ඉන්දියාව කොටි සංවිධානය තහනම් කිරීමේ නිවේදනය තුළ "2009 වසරේ යුද්ධයෙන් පරාජයට පත් වුවත් කොටි සංවිධානය ඊළාම් සංකල්පය අතහැර නොමැති බවත් ඔවුන් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන බව" දක්වා තිබුණේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම කරුණ මත ඉන්දියාව තුළ කොටි සංවිධානය තහනම් කරනු ලැබූ බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කළ විමසීමකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ආරක්ෂාව අඩු කිරීමට පෙර තම සේවාදායකයාට නිලධාරීන් 203 දෙනෙකුගේ ආරක්ෂාව සපයාදී තිබූ අතර එම ආරක්ෂාව ඉකුත් ඔක්තෝබර් මස 31 වනදා නිලධාරින් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට කටයුතු කෙරුණු බවය.
දැනට සපයා දී තිබෙන නිලධාරීන් 60 දෙනා පොලිස් නිලධාරින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, සේවා මුර අනුව කටයුතු කිරීමේදී එක් අවස්ථාවක යෙදවනු ලබන්නේ නිලධාරීන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු පමණක් බවත් අනාවරණය කළේය.
මෑතකදී ජන හමුවකට එක්වූ වත්මන් ජනාධිපතිවරයා තම සේවාදායකයාගේ ආරක්ෂාව හැට දෙනෙකු දක්වා අඩුකර තිබෙන බවත් වැඩිපුර කෙඳිරි ගෑවොත් එය ඉවත් කිරීමට කටයුතු කරන බවට අනතුරු අඟවා තිබුණේ යැයි ද සිහිපත් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් පැවසීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රභූ පුද්ගලයින්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු චිත්‍රසිරි කමිටුව විසින් තම සේවාදායකයාගේ නිරීක්ෂණ කැඳවීමට කටයුතු කළ ද එම කමිටුව ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කමිටුවක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට ප්‍රථම ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන්ගේ නිරීක්ෂණ පිළිබඳව රජය විසින් විමසීමක් සිදු නොකළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, විධිමත් ආරක්ෂක ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස සිය සේවාදායකයාගේ ආරක්ෂාව අවම කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අවධාරණය කළේය.
පුද්ගල ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවත් ඉකුත්දා ඝාතනය කෙරුණු පාතල කල්ලි නායක ගණේමුල්ල සංජීවට පවා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සපයා දී තිබූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා නීත්‍යානුකූල රජයට එරෙහිව දෙවතාවක් කැරළි ගැසූ රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයින්ට පවා දශක තුනකට අධික කාලයක් රජය විසින් ආරක්ෂාව සපයාදී තිබූ බවත් පෙන්වා දුනි.
පාස්කු ප්‍රහාරය මෙන්ම ආර්ථික අර්බුදය පිළිබඳවද කලින් තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූ බවත් යමක් සිදුවීමෙන් පසුව ඊට අදාළ හේතු සොයා බැලීම සඳහා මරණ පරීක්ෂණ පැවැත්වීම කිසිසේත්ම වැඩදායක ක්‍රියාවක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
එවැනි පසුබිමක් තුළ කිසිදු විධිමත් ආරක්ෂක තක්සේරුවක් හා ඇගයීමකින් තොරව සිය සේවාදායකයාගේ ආරක්ෂාව අවම කිරීමට බලධාරීන් ගනු ලැබූ තීරණය තුළින් සිය සේවාදායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව ඇගයීම් සිදු කිරීමේ විශේෂඥ කමිටුවක් විසින් බව සඳහන් කළේය.
එම විශේෂඥ කමිටුව ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් සමන්විත වන අතර එම කමිටුව 2015 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.
2020 වසරේ පෙත්සම්කරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදී ද ඔහුගේ ආරක්ෂක ඇගයීම් සිදු කළේ මෙම කමිටුව විසින් බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම කමිටුව වරින්වර සියලුම හිටපු ජනාධිපතිවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ ආරක්ෂක ඇගයීම් සිදුකොට ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරීක්‍ෂණ ඉදිරිපත් කරන බවත් පෙන්වා දුන්නේය.
ඒ තුළින් කිසිදු පුද්ගලයෙකට විශේෂත්වයක් දැක්වීමට කටයුතු නොකෙරෙන අතර එක් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් රෝහන්ත අබේසුරිය මහතා මේ තුළින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවත් සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බව තින්දු කර තිබුණි.