වැලිකන්ද හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

March 19, 2025   11:53 am

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් පොලීසියට ඊයේ (18) නියෝග කළේය. 

ඒ වැලිකන්ද පොලීසිය විසින් මීට මාස කිහිපයකට පෙර ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදීත්, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියකට අදාළවය.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද ලබා දුන් බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරයා විසින් භාරදී තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් 18 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවට උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුවට අදාළා පොලිස් ස්ථානාධිපතිවරයා එරෙහිව වරෙන්තුවක් නිකුත්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් පො‍ලීසියට මෙහිදී නියෝග කළේය.