සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට
March 19, 2025 09:07 am
පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා දින 19කට පසුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරුන් සමග පැමිණ අද (19) උදෑසන භාරවුණි.
2023 වසරේ මාතර, වැලිගමදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගිය පෙබරවාරි 27 වැනිදා නියෝග කළේය.
අනතුරුව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා තෙන්නකොන් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකළ අතර එය ඉකුත් 12 වනදා සලකා බැලුණි.
ඒ අනුව අදාළ පෙත්සමේ තීන්දුව පසුගිය සඳුදා ප්‍රකාශයට පත්කෙරුණු අතර එය විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් තෙන්නකෝන් මහතාව සොයා විමර්ශන සිදුකළ අතර ඊයේ පස්වරුවේ ඔහුගේ හෝකන්දර පිහිටි නිවස ද පරීක්ෂා කළේය.
නිවසේ තිබී විදෙස් මත්පැන් බෝතල් තොගයක් සොයාගත් අතර ඒවා ඊයේ රාත්‍රියේ අතුරුගිරිය පොලීසිය වෙත භාරදීම ද සිදුකරනු ලැබීය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ දේපොළ රාජසන්තක කිරීමට අදාළ නියෝගයක් ලබාගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට මේ වනවිටත් ගොස් ඇති අතර අදාළ නඩු විභාගය අද දහවල් කැඳවීමට නියමිත බව වාර්තා වේ.