E-8 රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි 

E-8 රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි 

March 17, 2025   01:51 pm

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති අතර ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටින පුද්ගලයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී විදේශ සේවා කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වෙත ලද බුද්ධි තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බැවින් ඔහු එදිනම සවස ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති අතර එහිදී සැකකරු එළැඹෙන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම මීට අමතරව සැකකරුට එරෙහිව ඇති තවත් පැමිණිලි 3ට අදාළව නඩු 3ක්ද කාර්යාංශය විසින් ගොනුකිරිමට නියමිතය. 

දකුණු කොරියාවේ E-8 කාණ්ඩයේ රැකියා ලබාදීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ වන තෙක් අනුමැතිය හිමි වි නොමැති බැවින්, එම රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉල්ලා සිටින කිසිඳු අයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එසේ මුදල් අයකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් හා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112 864241 ඇමතීම මගින් තොරතුරු ලබාදෙන ලෙස වැඩිදුරටත් කාර්යාංශය ඉල්ලා සිටියි.