කොහුවල දී මුදල් කොල්ලකෑමකට උත්සහ කළ පුද්ගලයෙකුට ගල් ප්‍රහාරයක්

කොහුවල දී මුදල් කොල්ලකෑමකට උත්සහ කළ පුද්ගලයෙකුට ගල් ප්‍රහාරයක්

March 16, 2025   01:56 pm

පාසල් සිසුවකුගේ මුදල් පසුම්බියක් කොල්ලකෑ පුද්ගලයෙකුට අවට සිටි පිරිස් විසින් ගල්මුල්වලින් පහරදීමේ සිදුවීමක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා විය.

පසුව කොල්ලකරුගේ මළ සිරුර නුගේගොඩ, නාලන්දාරාම මාර්ගයේ තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ (16) දිනයේ කොහුවල ප්‍රදේශයේ පාසල් සිසුවකුට තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කර සිසුවාගේ මුදල් පසුම්බිය කොල්ලකෑමට අදාළ පුද්ගලයා කටයුතු කර තිබුණි.

එම අවස්ථාවේ අවට සිටි පිරිස් විසින් කොල්ලකරුට ගල්මුල්වලින් පහරදී ඇති අතර පහරකෑම් මධ්‍යයේ ඔහු පළාගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පසුව එම පුද්ගලයාගේ මළ සිරුර නුගේගොඩ, නාලන්දාරාම මාර්ගයේ ඇවිදින මංතීරුව අසල තිබී ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ හිස පිටුපස සහ කන ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල නිරීක්ෂණය වන බව ද පොලීසිය පැවසීය.

එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.