වනඅලි - දුම්රිය අනතුරු වළක්වන්න සිසුවෙකුගෙන් නව සොයාගැනීමක්

වනඅලි - දුම්රිය අනතුරු වළක්වන්න සිසුවෙකුගෙන් නව සොයාගැනීමක්

March 10, 2025   09:11 pm

වනඅලි දුම්රියෙහි ගැටීමෙන් සිදුවන අනතුරු පාලනය කිරීම සඳහා නව උපකරණයක් නිපදවීමට තෝලංගමුව සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුමීර රන්තරු සිසුවා සමත්ව තිබේ.

ඔහු අද සිය නව නිර්මාණය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාවද දැනුවත් කළේය. 

වනඅලි දුම්රියේ ගැටීම හේතුවෙන් සිදුවන අනතුරු අප රටේ තවමත් නොවිසඳුණු ගැටලුවකි.

මේ හේතුවෙන් රටේ වනඅලි ගහනයටත් දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

බලධාරින් සහ විවිධ පර්යේෂකයින් අවස්ථා රැසකදීම AI තාක්ෂණය පවා උපයෝගී කරගනිමින් එම අනතුරු වළක්වා ගැනීමට විවිධ ක්‍රමෝපායන් හඳුන්වා දුන්නත් ඒවා තවමත් නිසි ලෙස ක්‍රියාවට නංවා නොමැත.

සුමීර රන්තරු සිසුවා නිපදවා ඇති නව උපකරණය මගින් දුම්රිය මාර්ගයේ වනඅලි රැඳී සිටී නම්, එම උපකරණය ක්‍රියාත්මකවී දුම්රියේ රියදුරුට ඒ බව SMS පණිවිඩයක් මගින් දැනුම්දීම මෙම උපකරණය මගින් ස්වයංක්‍රීයව සිදුකෙරේ.

මේ සමබ්නධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැසුවේ මෙම උපකරණය ක්‍රියාකාරී තත්ත්වය පිළිබඳ පරික්ෂාව සඳහා අවස්ථාවක් ලබාදෙන බවය.

ඒ අනුව එම උපකරණයේ සාර්ථක තාවය මත මූලයම සහ අනෙකුත් පහසුකම් ලබාදීමට හැකිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.