රනිල් ඇතුළු පිරිසකට එරෙහි පෙත්සමක් විභාගයෙන් විනිසුරුවරියක් ඉවත් වෙයි
March 10, 2025 03:38 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් විභාග කරන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (10) එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී ඇත.
අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා පුරප්පාඩු පවතිද්දී ඉකුත් රජය සමයේ ඊට විනිසුරුවරු පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව අදාළ පෙත්ස ගොනු කර තිබේ.
මෙම පෙත්සම විභාගය සඳහා අද ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සාමාජික විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය මෙම නඩු විභාගයෙන් ඉවත්වන බැවින් ඇය නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම මැයි මස 09 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.
ජනාධිපති නීතීඥ සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කාර ජනාධිපති නීතිඥවරයා කියා සිටින්නේ ඉකුත් නොවැම්බර් මාසය වන විට අභියාචනාධිකරණයේ විනිසුරු ධුර පුරප්පාඩු 05 ක් පැවති බවය.
එම විනිසුරු පුරප්පාඩු පිරවීමට එවක ජනාධිපතිවරයා කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.