වෛද්‍ය වැටුප් වැඩිකරලත් වර්ජනයකට යෑම අසාධාරණයි -ඇමති නලින්ද

වෛද්‍ය වැටුප් වැඩිකරලත් වර්ජනයකට යෑම අසාධාරණයි -ඇමති නලින්ද

March 4, 2025   12:45 pm

වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් වෛද්‍යවරු වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, සාකච්ඡාවකට සුදානම් බවය.

හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය.

එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථිකයට දරාගත හැකි අයුරින් වැටුප් ඉහළ දමා ඇති අතර ආර්ථිකය ඉදිරියේ දී තවදුරටත් ප්‍රකෘති වූ විට සියලු රාජ්‍ය සේවකයන්ට එහි ප්‍රතිලාභ ලබා දිය හැකි බවය.

ජනතාව අපහසුතාවයට පත් නොකර, අනවශ්‍ය වැඩවර්ජන සිදුකර රෝගීන් අපහසුතාවයට පත් නොකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කළේය.

මෙවන් පසුබිමක වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් හෙට දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීමට සූදානමින් සිටී.

මේ අතර, වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළේය.

අයවැයෙන් යෝජිත වැටුප් සංශෝධනයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදෙන අතිකාල දීමනා සහ නිවාඩු දිරි දීමනා කප්පාදු කර ඇති බවට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සංගම්වලින් චෝදනා එල්ල වේ.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති රැසක් මේ වනවිටත් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවන බව ප්‍රකාශ කර අවසන්ය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (03) කියා සිටියේ රජය විසඳුම් ලබානොදුනහොත් හෙට සිට වර්ජනයකට යොමුවන බවය. 

එසේම, සිය වැටුප් ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේනම් එළැඹෙන 6 වැනිදා සිට වර්ජනයකට යොමුවන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය වන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයද සඳහන් කළේය. 

ඊට පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ සංයෝජක ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඇතුළත්ය. 

මේ අතර, විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී වෛද්‍ය වැටුප් වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

"රාජ්‍ය සේවයට ඇතුළත්වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,290 යි. එම වැටුප රුපියල් 94,150 දක්වා වැඩි කරනවා. මූලික වැටුප හැටියට. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 39,860කින් වැඩිවීම වෙනවා. අනෙකුත් දීමනා සියල්ල එකතු වුණාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ දළ වැටුප 240,000ක් පමණ වෙනවා. මේකේ පළවෙනි අදියරය හැටියට අප්‍රේල් මාසයේදී විතරක්, වැටුප් වැඩිවීමෙන් රුපියල් 15,582ක් ලැබෙනවා. දෙවන ශ්‍රේණියට  අයත්වන වෛද්‍යවරයෙකුට මූලික වැටුප තිබ්බේ රුපියක් 58,305යි. ඒ වැටුප රුපියල් 101,370 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නෙ රුපියල් 43,065කින් මූලික වැටුප වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ  වෛද්‍යවරයෙකුට දැන් තියෙන මූලික වැටුප රුපියල් 71, 805යි. ඒක රුපියල් 125,670 දක්වා වැඩි වෙනවා. මූලික වැටුප් වැඩිවීම රුපියල් 53,865යි.

කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට දැන් ලැබෙන මූලික වැටුප රුපියල් 88,000‍යි. ඒක රුපියල් 156,000 දක්වා වැඩි වෙනවා. මූලික වැටූප් වැඩි වීම රුපියල්  68,000‍යි. මෙම මූලික වැටුපෙන් දැනෙන කොටසක් මේ අප්‍රේල් මාසයේදී හිමිවන බවත් තවත් කොටසක් 2026 ජනවාරී මාසයේදීත්, 2027 ජනවාරි මාසයේදීත් එනම් මාස 20ක් ඇතුළත් රුපියල් 40,000 සිට 68,000 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙන බවත්" අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.