ප්‍රබල අකුණු සහ තද වැසි

ප්‍රබල අකුණු සහ තද වැසි

March 2, 2025   05:34 pm

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබේ.

අද (02) පස්වරුවේ නිකුත් කළ එම නිවේදනය රාත්‍රී  09.30 දක්වා වලංගු වෙයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, සහ දකුණු පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය අදාළ වේ.

අදාළ ප්‍රදේශවල  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මේ අතර, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.