වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

February 26, 2025   12:58 pm

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවය.

වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බව සඳහන් වේ.

මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්‍ර දේශ වල ඇතැම් පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරන බවද  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

මේ අතර වියළි කාලගුණයත් සමග විදුලි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළේ ඒ අනුව තාප විදුලි බලාගාර හා දැවි තෙල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මෙගාවෝට් 900ක උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර කැලණි තිස්ස ‘‘ නැප්තා‘‘ බලාගාරය සහ සපුගස්කන්ද දැවිතෙල් බලාගාරය ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව සදහන් වේ.

ජල විදුලි බලාගාර තුළින් දිවා කාලයේ දී සමස්ත විදුලි ජනනයෙන් සියයට 20ක් සහ රාත්‍රී කාලයේ දී සියයට 40ක් ලබා ගන්නා බව  ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම සුර්ය බලාගාර වලින් දිවා කාලයේ දී වැඩි විදුලි ජනන අවස්ථාවක් පවතින බව ද ඔහු සඳහන් පැවසීය.