ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ගැන තවත් අනාවරණයක්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ගැන තවත් අනාවරණයක්

February 22, 2025   01:50 pm

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ඉන්දියානු ආයතනයක නිෂ්පාදනය කෙරෙන බවට ඒ පිළිබඳ නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම නිෂ්පාදනය නොකළ බවට අදාළ නම් සඳහන් ඉන්දියානු සමාගම් දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (21) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ, අදාළ නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබින් හා රිටොක්සිමැප් නමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්කිරීම හා රජයට කෝටි ගණනක පාඩුවක් සිදුකළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ මෙලෙස කැඳවනු ලැබීය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් මධුසංඛ යන අය Ospelts Life Science Productions GMBH pvt ltd නමින් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආයතනය මෙම ප්‍රතිදේහ එන්නත් සඳහා අවශ්‍ය කුප්පි ලංකාවට ගෙන්වාගෙන ඇති බවය.

එමෙන්ම පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබාදුන් සැකකටයුතු ද්‍රාවණය ගෙන්වූ බවට අදාළ පෙට්ටිවල සඳහන් ඉන්දියාවේ අදාළ ආයතනයට මෙම ද්‍රාවණයේ සාම්පල කොටස් යවා විමර්ශනය කර ප්‍රකාශ ලබාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.

එම ප්‍රකාශවල සඳහන් වන කරුණු පරිදි අදාළ ද්‍රාවණය ඔවුන්ගේ නම සඳහන්ව තිබුණත් පළමු සැකකරු හා තම ආයතනය කිසිදු ආකාරයක ගිවිසුමක් සඳහා අත්සන් තබා නොමැති බවත්, මෙම ද්‍රාවණය තම ආයතනය මගින් නිෂ්පාදනය නොකරන බව සඳහන් කර තිබේ.

කරුණු සලකාබැලූ මහේස්ත්‍රාත්වරිය නඩුවේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දු ලබන මාර්තු මස 5වනදා නැවත අධිකරණය හමුවට කැඳවීමට නියෝග කළ අතර ඔහුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් මධුසංඛ යන අයට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළේය.