පිරමීඩ ජාවාරම් සිද්ධියකට සම්බන්ධ අයෙකුගේ විදෙස් ගමන් තහනම් කෙරේ

පිරමීඩ ජාවාරම් සිද්ධියකට සම්බන්ධ අයෙකුගේ විදෙස් ගමන් තහනම් කෙරේ

February 21, 2025   12:35 pm

විදේශයක සිට ක්‍රියාත්මක වන පිරමීඩ ආයෝජන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කරනු ලබන බව කියන පුද්ගලයෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුව සඳහන් කර සිටියේ මැලේසියාවේ සිට ක්‍රියාත්මක වන පිරමීඩ ආයෝජන ක්‍රමයක් මෙරට තුළ  ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පුද්ගලයා දායක වී තිබෙන බවය. 

මේ යටතේ පුද්ගලයින් පන්දහසක් පමණ මෙම ආයෝජන ක්‍රමයට එක්කර ගැනීමට පියවර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මහ බැංකු නියමයන්ට පටහැනි ලෙස ක්‍රියාත්මක වන මෙම කටයුතු පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් ශ්‍රී ලංකාව තුළ සිට එම කටයුතු ප්‍රවර්ධනය කරන පුද්ගලයාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ අවසරයකින් තොරව එම පුද්ගලයාට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළාය.