රෝහිත් ගෞරවාන්විත කඩඉමකට
February 20, 2025 11:09 pm
ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (20) පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 කඩඉම පසුකර යාමට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකිවිය.
ඒ අනුව ඔහු මෙම කඩඉම පසුකළ ලොව 10වන පිතිකරුවා ලෙසත් එම දස්කම් දැක් වූ 4වන ඉන්දීය පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්විය.
අද තරගයේදී රෝහිත් ලකුණු 41ක් රැස්කළ අතර, එම ඉනිමත් ඔහු තරග 269ක ඉනිම් 261කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 11029ක් විය.
ඔහු එක්දින ශතක 32කට හා අර්ධ ශතක 57කට හිමිකම් කියයි.
ලොව වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවා සචින් තෙන්ඩුල්කාර් (18,426)ය.
රෝහිත්ට ඉදිරියෙන් සිටින සෙසු ඉන්දීය පිතිකරුවන් වන්නේ විරාට් කෝලි (13,985) හා සෞරව් ගංගුලි (11,363)ය.
එමෙන්ම රෝහිත්ට ඉදිරියෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ද සිටියි.
ඔවුන් වන්නේ කුමාර් සංගක්කාර (2/14,234), සනත් ජයසූරිය (5/13,430) හා මහේල ජයවර්ධන (6/12,650)ය.
මේ අතර අද තරගයේදී විරාට් කෝලි ලකුණු 22කට දැවීගිය අතර, තවත් ලකුණු 15ක් රැස්කිරීමට හැකිවූවානම් ඔහුට එක්දින ලකුණු 14,000 කඩඉම පසුකර යාමට අවස්ථාව තිබිණි.
එසේ වූවානම් එම කඩඉම පසුකරන ලොව තෙවන පිතිකරුවා ඔහුය.
අද අවසන් වූ තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.
ඩුබායිහි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 228ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව කඩුලු 4ක් දැවී තිබියදී ලකුණු 231ක් රැස්කරමින් සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.