ගල්කිස්ස පොලීසියේ සැකකාර කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්න කරයි

ගල්කිස්ස පොලීසියේ සැකකාර කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්න කරයි

February 11, 2025   09:06 pm

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධියට අදාළව එම පොලීසියේම පොලිස් කොස්තාපල්වරයෙක් අද (11) ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

ඒ, කොස්තාපල්වරයාට පලායෑම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මිලාන් කේසර සමරතුංග නමැති ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රාජකාරි ගිනිඅවිය රැගෙන පොලිස් ස්ථානයෙන් පිටවූ කොස්තාපල්වරයා විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ දක්වා යෑමට යතුරුපැදියක් භාවිත කර ඇති බවය.

කෙසේවෙතත්, යතුරුපැදිය අතරමග දමාගොස් ඇති අතර අද දින අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා එම ස්ථානයට ගොස් යතුරුපැදිය රැගෙන එන ආකාරය CCTV කැමරාවක සටහන්වී තිබුණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තාකර ඇත්තේ ගිනිඅවිය සමග අතුරුදන්වූ කොස්තාපල්වරයා විදෙස්ගතවීමට පෙර සැකකරු සිව් වතාවක් ඔහුට දුරකථන ඇමතුම් ලබාගෙන ඔහු සිටන ස්ථානය සම්බන්ධයෙන් විමසා ඇති බවය.

කරුණු සලකාබැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා සිල්වා මහත්මිය පෙබරවාරි 13 වැනිදා දක්වා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියට අවසර ලබාදුනි.