බස් අනතුර ගැන සංවේදී කතාවක් - තවත් සිව්දෙනෙකුට බරපතළයි

බස් අනතුර ගැන සංවේදී කතාවක් - තවත් සිව්දෙනෙකුට බරපතළයි

February 10, 2025   01:13 pm

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ.

අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීය.

මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී ඇත.

එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය පැවසුවේය.

මගීන් නංවා ගනිමින් තිබූ බස් රථය, අනෙක් බස් රථයේ ගැටීමේදී ඒ අසල ගෙවත්තකට ඇදී ගොස් එහි ගසක වැදී ඇත. 

අනතුරට ලක්වූ බස් රථයේ සිටි මගීන් මෙලෙස අදහස් දැක්වීය.

"අපි නිදාගෙන හිටියේ. ලොකු සද්දයක් ඇහුණා. අපි එළියට ඇවිත් බලද්දි ගොඩක් තුවාල වුණ අය හිටියා. පොඩි ළමයි එහෙමත් හිටියා."

"ගොඩක් අයගේ කකුල් කැඩිලා තිබුණා. බස් එකට නගින්න හිටිය කෙනාගේ කකුල් කැඩිලා. බස් එකේ හිරවෙලා හිටිය අයගේ කකුල් හිරවෙලා. දොරේ හිටිය කෙනා යටවෙලා හිටියේ."

"එක්කෙනෙක්ගේ කකුල් දෙකම නෑ. ඒ අක්කා දන්නේ නෑ එයාගේ කකුල් නෑ කියලා. ප්‍රයිවට් බස් නම් ඇත්තටම අනතුරුදායකයි."

"ගිලන්රථය එන්න පැය භාගයකට වැඩිය ගියා. හිතට දුක කියන්නේ කිසිම වාහනයක් නැවැත්තුවේ නෑ. අන්තිමට පොල්ලක් අරන් බය කරලා වාහන නැවැත්තුවේ. ලොරියක් නවත්තලා ලෙඩ්ඩු දාලා ඇරියේ."

කඩිනමින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් වහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

අනතුරින් මියගිය අය අතර කාන්තාවක් සහ පුරුෂයින් තිදෙනෙකු සිටී.

පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගය අනතුරට හේතුව  වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.