ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකුගෙන් ඇප පෙත්සමක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකුගෙන් ඇප පෙත්සමක්

February 7, 2025   10:04 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ලබන 14දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු වන නන්ද සිරි මල්ලවාරච්චි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආදාළ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වන බව අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් වේ.

මෙම සිද්ධියට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මෙම අපේක්ෂිත ඇප පෙත්සම ඉදිරිපත් කර තිබේ.