මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත - කැබිනට් ප්‍රකාශක

මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත - කැබිනට් ප්‍රකාශක

February 5, 2025   01:37 pm

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) තහවුරු කළේය.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්න ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙනවා. මන්ත්‍රී ධුරය අවුරුදු 5 ඉවර වුණාට පස්සේ ඒ වාහනය ආපහු බාර දෙන්න ඕනේ." 

"අති සුඛෝපභෝගී නොවන වාහනයක් ලබාදීම සඳහා දැන් වාහන සංචිතයක් හදාගන්න වෙලාවක් නැහැ. හැබැයි රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කරන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. අපේ ප්‍රමුඛතාව මන්ත්‍රී වාහන නෙමෙයි." 

මාධ්‍යවේදියා - "ඔබතුමා පැහැදිලිව කියන්න...මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙනවා ද? නැද්ද ?"

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා - 
"මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත."

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කළේ,

"අවුරුදු 5කට පස්සේ තමයි අපේ ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙන්නේ වාහන ආනයනය සඳහා යම් අවසරයක් ලබාදෙන්න. දැන් ආර්ථිකය අපි ප්‍රතිසංස්කරණය කරගනිමින් යනවා. එයට සාපේක්ෂව වාහන ආනයනය සඳහා අපි යම් අනුමැතියක් දී තිබෙනවා."

"මෙයින් අපේ විදෙස් සංචිතවලට එන බලපෑම පිළිබඳව සුපරික්ෂාකාරීත්වයකින් තමයි වාහන ආනයනය කරන්නේ."

"ආරම්භයේදී සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ."

"ඒකට අදාළ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් විවාදයකුත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා."